හුදෙකලා කලුවර: සිංහල

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

දිළිඳුකම


දිළිඳුකම සුළඟ සේ
මා වටා එතෙයි
අවංකභාවය
මා උණුසුම් කරයි
දිළිඳුකම හිරු සේ
මා දවයි
විශ්වාසය
මා දිරිමත් කරයි


දිළිඳුකම
අඳුරු ගුලි සේ විත්
මා බිය කරයි
ආදරය මා දමා
පලා දුවයි

ඔබ වෙතට


මෙදුක මහ බරකි මට
තනිව ම දරනු බැහැ එය
නොතේරෙන කවියක
දවටා එවමි ඔබ වෙත

ළපලු සෙවණැලිනි බර
වැලි අතුල මළුවක
සිත එකඟ කළ නොහැකි ය
බිඳී පලු පත් වැලඳගෙන නල

කැඩපතක් වෙත හිඳ
මාව ම සොයන කල මම
පිරිපුනින් පෙනෙතත් මා
තිබූ යමක් නැති බව හැඟෙයි මට

රළ පෙළන වෙරළක
අහඹු හක් බෙලි කටුවක
‘හෝ’ ගාන හිස් බව
රැව් නඟයි නොනැවතී මා තුළ

පුරුදු මහ දිගු රැයක
අවදිව දකින සිහිනෙක
මා හා එක ම මඟ යන
නොහඳුනන හඳුනන රුවක් ඇත

මට හඬන්න දෙන්න...



සඳ තරුත් එක්ක හාද වෙලා අනඟ රැගුම් හෙළා
මනමාලකමට සේද වලා මට ද හිනා වුණා
සඳ නේන රෑක සඳක් වෙලා සිත් අහසම පුරා
නුඹ මතු වුණ හැටි අතීතයේ අඳුරු තිමිර ඉරා

ජීවිතයේ වංක ගිරියෙ වල්මත් වූ වෙලේ
තරු ලකුණ ඇන්දෙ නුඹ ඇවිදින් නෑ අමතක කළේ
අපේ පෙමට එරෙහිව අන් බඹරෙකු පියා සැලූ දිනේ
 පරම පෙමෙහි රසය නුදුටුවෙ ඇයි නුඹ නියඟල මලේ...

සිඳු රළ රැළි දඟ කරනා සීත සයුරු ඉමේ
නුඹත් මමත් දිව ගිය හැටි මතකයි අද වගේ
අහස් මාළිගා මැව්වත් පැතුම් වෙරළ දිගේ
අනේ පෙමක් දියවුණ හැටි හිම කැටයක් වගේ

එපා සඳේ මීට පස්සෙ තරු හා එක් වන්න
සේද වලා බිම බලද්දි මට බෑ හිනැහෙන්න
ඔය කෝල කතා මට කියන්නෙ හදවත පෑරෙන්න
දැන් අමාවකට ආසයි මං - මට හඬන්න දෙන්න!

වැහි පොද


විසල් අහස් ගැබ අතහැර
නන්නාඳුනන
මහ පොළොවට වඩියි ඔබ
වැටී මහමග
හැපී මහපොළොව මත
නැගී හිනැහෙන
හෙට දිනෙක
ගසක පැළයක අත්වැල ව හිඳ
වඩා හිඳුවන
අපේක්ෂාවෙන්
සපැමිණෙයි ඔබ
අහස්තලයෙන් මහා පොළොවට
ඇළ දොළක නදියක
දිය රළක
ගැටී හැපි හැපී දුකම සඟවා
මහ මුහුදට ගසාගෙන යනු නොව
නිල්ල පිබිදුණු හෙට දිනකට
රන්හිරු රැස් වඩමවන්නට

සිත



රිංගන්න හරි ම රිසි
ඇලෙන තැන් සොය සොයා
මතුවෙන්න දඟලන්නෙ
හමු වූ විට ගැටෙන තැන්
සුව පහසු යැයි සිතා
ලැගුම් ගත් බොහෝ තැන්
අතැර යන කටුක බව
පසක් වූ විගසකින්
පතා සැනසුම සතුට
බොහෝ දුර පියෑඹුව
සිත දුකට තුරුළු කොට
නැවත පා පාමුලට
වැතිර දුක වමාරන

වැස්ස සහ යුවතිය


දකිමි ඉකිලන වැසි දිය
බෝ දුර ගෙවා වුව
තෙමන්නට නොහැකිව නුඹ වත
අකුලනු නොහැකිවද

ඩිංගකටවත් ඔය කැත කුඩය
විශාකා තොමෝ සේ
ඉඩ දෙන්න බැරිද
මොහොතක් වැසි දියට
නොතෙමී එන්න කීවාද නුඹට

මේ විසල් වැසි සිරි දැක දැක
සංවරව ගාටන්න ලු කීවේ ඇයට
හෙණත් පුපුරණ වැසි මැද

දුවන්නට තහනම් විය ඇයට
තෙමෙන්නට තහනම්ලු නුඹට

අහිමි හිමි වීම


සෑම ගහවැලක් ම
සඳ දියෙන් නැහැවී
පහළ යටි වියනට පවා
අතු අගින් පෙරී එන
සඳ ඇබින්දක් හෝ ඇති
එහෙත් මා කිසිවක් නැතිව ම

ගිනියම් ව ඉරි තැළුණු කතරකට ද
වැසි පොදක් නොමැති මුත්
දෙතොල් සනසාගන්න
ඉඳහිට හෝ
පිනි බිඳක් වැටෙනවා ඇති
එහෙත් මා කිසිවක් නැතිව ම

තටු සිදුණ බමරෙකුට වුව
බැරි නමුදු සිත් සේ
රොනවුලෙහි කිමි දෙන්න
ඈත හිඳ විදගන්න
මල් සුවඳ හෝ ඇති
එහෙත් මා කිසිවක් නැතිව ම

ඇගේ රුව


නිසසල නිශාවෙක
තනි වූ විරාමෙක
අතීතයේ
කවුළු දොර ළඟට විත්
එපිට බලන විට
දැනුණා පුරුදු මතකෙක
වියළි මල් සුවඳක්,

අකීකරු කඳුළු බිඳු දෙකක්
තෙත් කළා දෙනෙත්
මතක පොතේ ඇති සදා නොමැකෙන
ඇගේ රුව
බොඳ වුණා වෙනදා මෙන් ම

මලට නොඑන බඹරකුගෙන්



මල්ම වේ ඉමිහිරි
පෙර කිවි දනා වැනුවද?
නොපිපෙයි!
මසිත
මුදු සුමුදු පෙති මත

මල් කෙසරු අතරින්
මකරන්ද ගලනා
මල් කෙමිය
නොහඳුනයි
මා තුඩ...

ඉඟි මරන
තොල් පෙති අරින
මල්යාය මගහැර
පියාවිදා සැරිසරමි
සොයමි...
සොයමි...

වෑකඳු සදිසි
පුළුලුර මඬලක්
රළු ම රළු උණුසුමක මිහිරක්
රඹතුරු අසිරි පරදනා
වට මට සුමට වටොරක්

අව් ඉරක් වී වඩිනු මැන මෙහි



මතක සැමරුම් යදම් හද බැඳී
රාව නංවයි භීන විලසින්
පේ‍්‍රමයේ එක් අව් අල්ලියක්
නොපිවිසේ හද, බිම් කුටිය වෙත
මහද සිර කොට මේ අඳුරු කුස
කොහි ගියෙද නුඹ
මහද තනි කොට

තැති ගැනෙයි සිත තැති ගැනෙයි නිති
නුඹත් නොමැති ව මේ අඳුරු කුස
දැනෙයි මූසල පුස් පිලුණු ගඳ
සුවඳ වත්සුණු ඉළූ බිතු මත

දැවෙන් යකඩින් අකම්පිත ලෙස
ලෙවන් තැනුයෙද මෙබිම් ගෙහි වත
අව්රමින් එළි කලුව පිරිමැද
කෝ කොයිද ප්‍රේමයක එළි තිත

රෝස මල් පිපෙනුයෙද නෙක පැහැ
තුටින් ඉපිලෙන ප්‍රේම එළි දැක
නල සුවඳ නෙක අතද සරණා
රහස් ඉඳ හිට ඇසේ දෙසවන
සියොත් සර මිණිගිගිරි හඬවා
සුළලිත ව ලොව නළවනා කළ
මතක සැමරුම් යදම් හද බැඳි
සෝ තැවුල් තත් සිඳ දමනු වැනි

සිරකරු ය මේ බිම් ගෘහය තුළ
සෝක ලතැවුල් තාප පෙඳ බැඳි
නේක සිතුවිලි පුස් ගඳින් පිරි
කිලි කුණප නෙක වසුරු පිරි රැඳි
අව් ඉරක් සේ ඔබ වඩිනු නම්
එකදු බිම් මලකට ඉඩක් ඇති
ඔබට ඒ බිම් මල පුදන්නට
අව් ඉරක් වී වඩිනු මැන මෙහි

වැහි සිරි



දුක හෝ සතුට හෝ
වැහි සේ හලා
හිස් වෙයි අහස

අද ය පෙර දිනක ය
නැති ය කිසි වෙනසක්
හෙටත් මේ ලෙසට ම
ඉඳහිට
හෙළනු ඇත වැහි
අහස

මා මෙන් කවුරු හෝ
ඉඳහිට
දුකින් හෝ සතුටින් හෝ
විඳිනු ඇත වැහි සිරි
හෙටත්......

හදවත අන්ධ වූ යුවතිය


කලක් තිස්සේ
හිත් තුළ තෙරපුණු
ආදර සිතුම්
ගොනු ගණන්
මල් වරුසාවක් වී
සිත් මානයේ අද්දරට
ඇද හැලෙද්දී
අවිහිංසක සුරූපිනියක්
වූ
ඒ යුවතිය
අවිහිංසක බව
පිළිබඳ ව
උදම් අනමින්
දෑස් අගින් තම
ප්‍රියතමයා වෙත
ගෙන හැර පාන්නට
වූ
අපිරිමිත සෙනෙහස
හදවතට වාරුවක් ගන්නට
බල කරද්දී
හදවත නිසොල්මන් ව ඇය
දෙස බලා
එය මා වෙත නොව
ඔබගේ දෙනුවන් වෙත
නොපමා ව බාර කරනු
මැනවි


ඇරයුමක්



සිය දහස් අනෝරා
අකුණු පහරට හසුව
නොකළ පව්වලින් විඳ
චෝදනා,

ගිනි අරන් පිනි බින්දු
දවද්දී සියක් පෙති
පුදන්නට අමතක ව
පාවලට පෑගෙනා,

අඬන්නට තිබු කඳුළු
බෝ කලින් ඉවර වුණ
යෙහෙළියේ කමක් නෑ
පා හිනා,

තැලුණ පෙති එකතු කර
රැගෙන මා වෙත එන්න
හෙටත් ඉර නගින්නට
රෑ වුණා

අසම්මත ගැහැනිය


අන්සතුවූ නුබ ගැබ බිඳුණි තටු යුග
තුඩග රැඳි කව් වීය අමතක
කිරිලියයි ඇය විහඟ කුලයේ
තාල අමුණන අසම්මතයට

හැබෑ නොවනා හීන අතරින්

අනන්තය තෙක් දෙපිය නඟමින
වසත් කාලය සොරා ගෙනැවිත්
ගිමන්කලා ගී තාල මුමුණන
තවුස්දම් බිඳ දැහැන ගතවුණ
කිරිලියයි ඈ හීන අහුලන

අමාවක රෑ තාරුකාවක

සඳට සරදම් කවක් ගළපන
පිපුණු දා සඳ වුවන අහසට
පෙර ලෙසින් පෙම් කවක් මුමුණන
කඳුළ සඟවා නෙත් කෙවෙනි යට
කිරිලියයි ඈ නඟන මදහස

”මම” නම් සිපිරිගෙය



පිය මනිම් හතරැස් ව
බිම ඔබා හිස
මම
මා වට ම....
ගැන නැත
කිසි ම දවසක
යපොලු කීයක් වෙත්දැයි
මා ඉදිරිපස...
 

සොයමි
පහුරු ගා මහ බිත්ති
පලායන්නට ඉඩක්
නොව
හමුවෙතැයි
මා සම මිනිසකු
ලියූ
කුරුටු ගී...
පුරුකින් පුරුක බැඳි
විලංගු ය
කිසිවිටෙකත් නොහැඟේ
ආදරය නොවේයැයි
එය...
 

අඳුරු ය
විටෙක එළිය ය
ඇතුළේ ය
විටෙක පිටත ය
හිතැත්තෝ
බලති විමසති
එති යති...
 

තවමත්
නොදුටු හැටි
මා වන් අයකු වෙන
පවුරක් සේ
මා වට කොට සිටින
මම මිස...

මායිමකදී


ලෙන් දොරින්

ඇතුළත
අන්ධකාරයේ ජීවිතය
හුරුය
මට

නොදල්වා
පහනකුදු
රෑ කල පිපුණු සඳ තරු
දකිනු රිසිවෙමි

විටෙක
ගොස් පිටතට
බලමි
ගන කළු කුහරය තුළ
අන්ධකාරයේ
ගුප්ත බව

දකිමි
එළිය සහ අඳුර
වෙන් වෙන්ව
වැතිරෙන’යුරු
මෙතැන
පැමිණ එතැනට
සොයමි
විමසමි

ඇතුළත සහ
පිටත

මුතු අහුර



ගන්න මේ මුතු අහුර
ඔබ දුන්නු කඳුළු ගෙන
හදවතේ වියළලා
කැට කලා
ඉනික්බිති
ආදරෙන් ඔප කළා
හැඩ කළා
ගන්න ඔබේ මුතු අහුර
වෙලාවක් එනතුරු බලා හිඳිමි

ඔබ හමුවන්නට...
ඔබෙත් මගෙත් ඒ කවිය
ආරම්භ නොවන්නේ ඇයි ද,
අසන්නට...
ඔබට හැකිනම්
මා නොපිළිගෙන
මගේ දෙනයන තෙත් කරන්නට...
මට නොහැකි වෙ ද.
ඔබ ව නැති දා
ඔබ ව මගෙ මතකයට දෙන්නට...

x,y,z සහ මම

දෙනෙත්
පියා
”x”විදියි
දිනන්නට
යන
ආදරය

දෙනෙත්
පියා
”y”විදියි
දිනාගත්
ආදරය

දෙනෙත්
පියා
”z”විදියි
විරහ
වේදනාව

දෙනෙත්
හැර
”මම”
සිටිමි
විදින්නේ
කුමක්දැයි
සිතමින්

රන් මංජුසාව



හදවත තුළ මගේ
සඟවා ඇත
රන් මංජුසාවක්
එහි ඇත
බොහෝ විසිතුරු දේ
කලාතුරකින් දිනෙක
පියන් පත් විවර කර
එහි පතුලට ම කිමිදී
බලා සිටින්නෙමි ඒ දෙස
නැවතත් වහ වහා
එහි පියන් පත් තදකර
තබන්නෙමි තිබූ තැන ම
සිරකරපෙම් කවක් ලියන්නට
පන්හිඳක් නොමැති සඳ
අඬන්නට වෙර දරන
කඳුළු වියළුණු නෙත් දෙකට
සිනහවක් නඟන්නට
නොහැකි ව හඬන සිත
මා තව ම තනිකඩ ය
ඔබේ මතකය අතර

නිසැකව ම බිහිවේවි කවිය කවි සිතක් තුළ


පවසන්නට නම් එපා වස්තු නිම වූ බවක්
වීණා ගොළු බවක්, තේමා නිමි බවක්
කිවිහු නො සිටීවි ඒ නමුදු සැමදා ම
නිසැකව ම බිහි වේවි කවිය කවි සිතක් තුළ!

ආලෝක කිරණ වැද හාදුවක් දිලෙන විට 
හිරු කුමරු වලා මත රන් පැහැය අඳින විට
වාතලයෙ උකුළ මත මාධුර්යය රඟන විට
ලෝකයට වසන්තය උදා වී ඇති විටෙක
නිසැක ව ම බිහි වේවි කවිය කවි සිතක් තුළ!

ජීව මූලයන් වෙත ළඟා විය නොහැකි විට
අහස් කුස සයුරු කුස පාතාල තිබෙන විට
මිනිස්කම කොහේ සැඟැවුණේ දැයි නොදත් විට
මිනිසාට අබිරහස් ඉතිරි වී ඇති විටෙක
නිසැක ව ම බිහි වේවි කවිය කවි සිතක් තුළ!


දෙතොල මත නැති සිනා ආත්මයෙ ඇති විටෙක
කඳුළු බිඳු නෙතැ නැති ව අයකු වැලැපෙන විටෙක
හදවතත් සිතත් දෙක කලහ කරනා විටක
නිසැක ව ම බිහි වේවි කවිය කවි සිතක් තුළ!

නෙතක ඡායාව තව නෙතක් මත වැටෙන විට
සුසුම් පිරි තොලක සුව තව තොලක් ලබන විට
හාදු වැස්සෙන් සිතක් උද්දාම වූ විටෙක
නිසැක ව ම බිහි වේවි කවිය කවි සිතක් තුළ!

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!